මල් සහ භාශාව - Beauty of the languages

මල් සහ භාශාව

භාශාවක තියෙන එක ලස්සන දෙයක් තමා ඒ භාශාවේ තියෙන ආවේනික බව. උදාහරණයක් විදියට එක එක භාශාව ගැන අපිට තියෙනවා එක එක විදියේ ආකල්ප. ප්‍රංශ භාශාව ගත්තොත් අපිට මැවෙන්නේ රාගික ස්වභාවයක්. රුසියානු භාශාව දැඩි රළු භාශාවක්. හින්දි සෞම්‍ය භාශාවක්. ඔය විදියට විවිධ භාශාවන් ගැන සමාජයේ විවිධ ආකල්ප තියෙනවා. නමුත් මේ ඕනේම භාශාවක් වැදගත්කම සහ වටිනාකම තීරණය වෙන්නේ ඒ භාශාවේ භාවිතයෙන් අදහස්, හැඟීම සහ තොරතුරු කොයි තරම් සරලව සහ පහසුවෙන් වඩාත් නිවැරැදිව තවත් කෙනෙක්ට සන්නිවේදනය කරන්න පුලුවන්ද කියන එක අනුව. 

ඒකට බලපාන සාධක කිහිපයක් තියෙනවා. භාශාවේ ස්වරය ( tone ), තීවෘතාවය ( intensity ) , රිද්මය, වචන වල පරාසය ( range & vocabulary ), ඉගනීමේ පහසුව, තේරුම් ගැනීමේ පහසුව , මිනිසාගේ ප්‍රාථමික සන්නිවේදනය සමග මුහු වීම... වගේ කාරණා.

උදාහරණයක් විදියට රුසියානු භාශාව ගමු. රුසියානු භාශාව නොදන්න කෙනෙක්ට සහ රුසියානු ජාතිකයෙක් රුසියානු භාශාවෙන් කරන කතා බහක් ගත්තොත් අපි හිතමු මේ රුසියානු ජාතිකයට අවශ්‍යයි තමන්ගේ තියෙන දුක ගැන මේ අනිත් පුද්ගලයාට කියන්න. ඒක මොන තරම් දුරට සාර්ථක සන්නිවේදනයක් වෙයිද? රුසියානු භාශාවේ තියෙන රළු කටුක ස්වභාවය, එහි රිද්මය සහ තීවෘතාවය අනිවාර්යයෙන් ලොකු බාධයක් වෙන්න පුලුවන්. නමුත් ආවේගය තර්ජනය වගෙව් හැඟීමක් පහසුවෙන් සන්නිවේදනය කරන්න රුසියානු භාශාවට හැකියාව තියෙනවා.  අදහස්, හැඟීම් සහ තොරතුරු වඩාත් නිවැරැදිව සන්නිවේදනය කරන්න අපහසු වෙන සරල උදාහරණයක් ඒක. ඔය විදියට විවිධ භාශාවල සීමාවන් තියෙනවා. ඒ විදියට සීමාවන් අඩුම සහ සන්නිවේදන හැකියාව වැඩි භාශාවක් හොඳ භාශාවක් කියලා අර්ථකථනය කරන්න පුලුවන්.

භාශාවක තියෙන ලස්සන ඉස්මතු වෙන තව තැනක් තමයි ඒ ඒ භාශාවේ ජනකොට්ඨාස වලට විතරක් තේරුම් ගන්න පුලුවන් කරාණා.එහෙම අවස්ථාවන් මතු වෙන්නේ ඒ ඒ භාශාවට ආවේනික දැනුම් පද්ධති වල බිහිවීම නිසා. උදාහරණයකින් පැහැදිලි කරගමු.

අපි ආගමික දර්ශනයක් සලකා බැලුවොත් බුදුදහම ගමු. සාමාන්‍ය බුදුදහමේ තියෙන සමහර නිර්වචනයන් වඩාත් පැහැදිලිව අර්ථකථනය කරන්න සිංහල භාශාවට පුලුවන්. " ශ්‍රද්ධාව " කියන වචනේ ගමු අපි. මේ වචනයෙන් අදහස් කරන අදහස ලාංකිකයෙක්ට වඩා නිවැරැදිව පහසුවෙන් තේරුම් ගන්න පුලුවන්. නමුත් මේ ශ්‍රද්ධාව කියන වචනේ ඉංග්‍රිසි ජාතිකයෙක්ට නිවැරැදිම අර්ථයෙන් සන්නිවේදනය කරන්න යම් අපහසුවක් තියෙනවා. ඒකට හේතුව වෙන්නේ වචන ප්‍රමාණවත් නැති කම. ඒ නිසා අපිට සිද්ධ වෙනවා මේ වචනෙට සමාන ඉංග්‍රීසි භාශාවේ වචනයක් පාවිච්චි කරන්න. එතකොට කෙනෙක්ට මේ ශ්‍රද්ධාව කියන වචනේ වෙනුවට භාවිත කරන්න පුලුවන් ලඟම වචනය වෙන්නේ " Faith " . ඒකියන්නේ විශ්වාසය. නමුත් අපි ශ්‍රද්ධාව කියලා අදහස් කරේ මේ faith/විශ්වාසය කියන එක නෙමේ. දැන් මේ ශ්‍රද්ධාවට අපි විශේෂණ පදයක් දැම්මොත් " අමූලිකා ශ්‍රද්ධාව " / ආකාරවතී ශ්‍රද්ධාව " විදියට අපි අදහස් කරන අදහස ඒ විදියටම සන්නිවේදනය කරගන්න අපහසුයි. අන්න ඒ ආවේනික ජනකොට්ඨාසයට විතරක් තේරුම් ගන්න පුලුවන් කාරණාත් මේ එක් එක් භාශාවට ආවේනික ලස්සනක් එකතු කරනවා.

ඒ වගේම භාශාවක තියෙන තවත් එක ලස්සන තැනක් තමා යාවත්කාලීන වීම් සහ කාලීන බව. ඕනේම භාශාවක් කාලය සහ භාවිතාකරන්නන්ගේ අවශ්‍යතාව මත වෙනස් වීම. භාශාවක තියෙන ලස්සනම තැනක් මේක. උදාහරණයක් විදියට අපි " මල " කියන වචනය ගමු.

මල අපි විවිධාකාර විදියට භාවිත කරන වචනයක්.

" මන් මල් වලට හරිම ආසයි. විශේශයෙන් රෝස මල් "
" දුවේ මල් කැඩුවද? පහන තියෙන්නේ කීයටද ඔයා? "
" ආහ්හ්... කොල්ලා මල් කඩනවා වගේ අහ්හ්. හොඳයි හොඳයි. කරන් යමන්කෝ"
" මට නම් අරූ එක්ක කැරි මලක් පැන්නේ එවෙලේ නම්. ඉවසන් හිටියා ඉතින් "
" අදනම් කොල්ලා මොනා හරි කරලා වගේ අහ්හ්.. මලක් වත් ගැහුවද? "
" ආපෝ උබ නම් සිංදු දාන්න එපා. දැම්මොත් මල් සිංදුවක්. අප්පිරියයි යකෝ"
" පිපුනු මලක් නම් තලලා මිස නොයමී- කැකුලු මල නිසා නොතලා යන්ට යමී "
" ඔයාගේ මල පිටවීම කොහොමද? සාමාන්‍යයිද? "
"මූ මහ මල් කොල්ලෙක් බන්. බැලුවොත් සීන් එකේ"

මේ එක එක සිදුවීම් වලදි මලට තියෙන්නේ එක එක අර්ථකථන. ගහක පිපෙන මලක්,කොල්ලෙක් පෙම්වතිය සමග දුරකතන සංවාදේ යෙදීමක්, දැඩි ලෙස කෝපයට පත්වීමක්, කංසා පානය කිරීමක්, 2010-2020 වගේ කාල සීමාවේ බිහි උන විරහ ගීතයක්,කාන්තාවකගේ කන්‍යාභාවය/ භගමනිය, බහිශ්‍රාවය, සමරිසි කොල්ලෙක්.... මේ හැම අදහසක්ම අපිට සන්නිවේදනය කරන්න පුලුවන් "මල" කියන තනි වචනය යොදාගෙන. හැබැයි ඒක තේරුම් ගන්න පුලුවන් වෙන්නේ යම්කිසි වයස් සීමාවක අයට විතරයි. මොකද මේ වෙනස් වීම් කාලය සහ බද්ධ වෙලා තියෙන නිසා. 1900 සිංහල මනුස්සයෙක්ට මල කියන වචනයේ භාවිතයන් තේරුම් ගන්න බැහැ. උදාහරණයක් විදියට මේ මල කියන වචනය සිංහල භාශාව ඉගන ගත්ත විදේශකයෙකුටත් මෙහි භාවිතයන් එක්ක නිවැරැදිව හඳුනා ගන්න අපහසුයි. 
" He's picking flowers with his girlfriend"
" Don't play flower songs" 

අදහස විකෘති. මේ විවිධයට සෑම භාශාවකම ලස්සන තැන් තියෙනවා. විවිධත්වය සහ ආවේනිකත්වය!
Copyrights @abnormalthinker2021.blogspot.com 
Pramod Dilshan 28-08-2022
-----------------------------------

Comments