" The Stress - ආතතිය " දෙවන කොටස | කලු, සුදු සහ අළු
" The Stress - ආතතිය " දෙවන ලිපිය
" කලු, සුදු සහ අළු "
නූතන මනෝවිද්‍යාවේ පියා විදියට සැලකෙන සිග්මන් ෆ්‍රොයිඩ්, හැබෑවටම නූතන මනෝවිද්‍යාවේ පියා විදියට සලකන්න මූලික වශයෙන් හේතු වුනේ ඔහු විසින් ඉදිරිපත් කරන ලද " මනෝවිශ්ලේශණවාදි න්‍යාය " එහෙම නැත්නම් Psychoanalysis Theory එක වර්තමානයේ භාවිත කරන බොහොමයක් න්‍යායන් වල පදනම විදියට යොදාගන්න නිසා. මිනිස් හැසිරීම් සහ මනස ඊට හේතුකාරක වන ආකාරය පිලිබඳව පැහැදිලි කරගැනීමට පදනමක් සැපයීම තමා මනෝවිශ්ලේශණවාදි න්‍යායේ අරමුණ වෙන්නේ.
ඉතින් මේ මනෝවිශ්ලේශණවාදි න්‍යාය මනෝවිද්‍යාව විශයට පමණක් සීමා නොකර, අපේ එදිනෙදා ජීවිතයට බලපාන්නේ කොහොමද කියන එක සහ ශ්‍රීලංකාවේ වර්තමාන තත්ත්වයට සහ අනාගතයේදී කුමක් සිදුවේද කියන ප්‍රශ්නයට උත්තරයක් හොයන්න ආදේශ කරගැනීමක් තමා මේ සටහනින් බලාපොරොත්තු වෙන්නේ.
මනෝවිශ්ලේශණවාදි න්‍යාය/ Psychoanalysis Theory
සිග්මන් ෆ්‍රොයිඩ් මනෝවිශ්ලේශණවාදි න්‍යාය ඇතුලේ කතා කරනවා මිනිස් මනසේ ස්තර තුනක් පිලිබඳව.
ඡායාරූපය 1 හි දැක්වෙන පරිදි;
විඥ්ඤාණය ( Conscious mind ) - සිතුවිලි, හැඟිම්, මතකයන්, බලාපොරොත්තු... ආදි දෙන ලද අවස්ථාවක පුද්ගලයා විසින් අවබොධයකින් සිටින කරුණු ඇතුලත් වන්නේ මේ විඥ්ඤාණය කියන ස්තරයට. තීරණ ගැනීම, තර්ක කිරීම සහ සිතීම සිදු වෙන්නේ මේ විඥ්ඤාණය තුල.
උපවිඥ්ඤාණය ( Pre-Conscious mind ) - නිතර භාවිත නොවන, නමුත් විඥ්ඤාණයේ ක්‍රියාවලින්ට සහය වීමට තොරතුරු ආදි කරුණු ගැබ් වෙලා තියෙන්නේ මනසේ මේ උපවිඥ්ඤාණය තුල.
උදා : " ඔබ ගිය සතියේ බදාදා දවල් 2ට පමණ සිදු කරේ කුමක්ද? " මේ ප්‍රශ්නයට උත්තරය කෙනෙක්ට එක වරම පිලිතුරු දිය හැකි ප්‍රශ්නයක් නෙමේ.මොකද යම්කිසි විශේෂ සිදුවීමක් සිදු නොවෙන්න මෙම ප්‍රශ්නයෙන් බලාපොරොත්තු වෙන පිලිතුර ඔබට සාමාන්‍ය එදිනෙදා කටයුතු වලට බලපෑමක් ඇති කරන්නේ නෑ. මේ වගේ තොරතුරු ගබඩා කරගෙන අවශ්‍ය විටදී විඥ්ඤාණයට ලබා දීම තමා උපවිඥ්ඤාණයෙහි කාර්‍යය වෙන්නේ.
අවිඥ්ඤාණය ( Unconscious mind ) - මනසේ ස්තර තුනෙන් සංකීර්ණම කොටස සහ මිනිස් හැසීරීම් වලට හේතුකාරක වෙන කරුණු අඩංගු වෙන්නේ අවිඥාණය තුල. මිනිසා විසින් යටපත් කරගෙන සිටින හැඟීම් ( suppressed feelings ) , අභිප්‍රේරක ( motives ) , මූලික අවශ්‍යතාවන් ( ආහාර සහ ලිංගිකත්වය ...) සහ ප්‍රාථමික සහබුද්ධිය ( primal instincts ) ආදිය ගැබ් වෙලා තියෙන්නේ මනසේ ගැඹුරුම ස්තරය වෙන අවිඥානික මනස තුල.
-----------------------------------------------
ෆ්‍රොයිඩ්ගේ මනෝවිශ්ලේශණවාදි න්‍යාය අනුව මිනිස් හැසිරීම් මනසේ කොටස් තුනක මූලිකත්වයෙන් තමා සිදු වෙන්නේ. ඒ කොටස් තුන,
Id , Ego සහ Superego
පොඩි කාලේ කාටූන් බලද්දි අපි දැකලා තියෙනවා කතාවේ ප්‍රධාන චරිතය වැදගත් තීරණයක් ගන්න අවස්ථාවල උරහිසේ එක පැත්තකින් මතු වෙනවා යකෙක් වගේ එකෙක්. අනිත් උරහිසෙන් මතු වෙනවා දේවදූතයෙක් වගේ එකෙක්. මේ චරිත දෙකම කියන දේ අහලා ප්‍රධාන චරිතේ තීරණයක් ගන්නවා.
මේ සිදුවීමේ යකා වගේ මතු වෙන චරිතය තමා මනෝවිශ්ලේශණවාදි න්‍යාය තුල Id ( ඉඩ් ) විදියටත්, දේවදූතය වගේ මතු වෙන චරිතය Superego ( සුපර් ඊගෝ ) සහ තීරණය ගනු ලබන ප්‍රධාන චරිතය තමා Ego ( ඊගෝ ) වශයෙනුත් හඳුන්වන්නේ.
Id ( අවිඥානික මනස තුල ක්‍රියාත්මක වේ ) - මිනිස් මනසේ යටිසිතේ ගැබ්වී ඇති ප්‍රාථමික සංඥාවන් වලට අනුව ක්‍රියාත්මක වේ. මූලික අභිප්‍රේරකය වන්නේ ස්වාර්ථයයි. මම, මට සහ මගේ යන සංකල්ප අනුව විඥ්ඤාණයට බලපෑම් කරයි.
Superego ( මනසේ ස්තර තුනෙහිදීම ක්‍රියාත්මක වේ ) - පුද්ගලයෙක් විසින් කුඩා කල සිට ඉගනගත්, සමාජයේ යහපත් යැයි සැලකෙන ආකාරයට කටයුතු කිරීමට පෙලඹෙයි. මූලික අභිප්‍රේරකය වන්නේ තමා යහපත් යැයි සලකන මට්ටමට තම ප්‍රතිරූපය ගොඩ නගා ගැනීම ( Ego Ideal ).
Ego - උප විඥ්ඤාණය සහ විඥ්ඤාණය තුල ක්‍රියාත්මක වේ. Id සහ Superego අතර සමතුලිතය පවත්වාගෙන යාම සිදු කරයි. යථාර්ථවාදී මූලධර්ම මත ක්‍රියා කරයි.
-----------------------------------------------
ප්‍රායෝගික ලෝකයෙදි මේ Id, Ego සහ Superegoගේ බලපෑම මිනිස් හැසීරීම් වලට බලපාන ආකාරය උදාහරණයකින් පැහැදිලි කරගමු.
ඔබ දුර ගමන් බස් රථයක කිලෝමීටර් 70ක් පමණ හිටගෙන ගමන් කිරීමෙන් පසු යාන්තමට ආසනයක් ලැබී ඉඳගත්තා පමනි. මැදිවියේ කාන්තාවක් පැමිණ ඔබ අසලින් සිට ගනී. කිලෝමීටර් 70ක් පමන හිටගෙන ගමන් කිරීම නිසා ඔබගේත් ශරීරයට වෙහෙසකරයි. එම නිසා ඔබට මෙවැනි සිතුවිල්ලක් පහල වේ නම් " මොන මගුලක්ද. මෙච්චර දුර හිටගෙන ඇවිත් ඉඳගත්තා විතරයි. මන් නම් සීට් එක දෙන්නෑ. යන විදියකට ගිය දෙන්" ඒ ඔබගේ අවිඥානික මනස තුල සිටින id හි බලපෑම ස්වාර්ථය මූලික කරගෙන ක්‍රියාත්මක වීමයි.
ඒ සමගම ඔබට මෙවැනි සිතුවිල්ලක් පහල වේ නම් " මොනා උනත් වයසක අම්මා කෙනෙක්නේ. මට වඩා එයාට මේ සීට් එක ඕනේ. මෙයාට සීට් එක දීලා මන් තව ටිකක් හිටගෙන යනවා. මෙච්චර දුර හිටගෙන ආව එකේ ඕක මොකක්ද" ඒ superego විසින් සමාජයේ යහපත් පුරවැසියෙක් ක්‍රියාකලයුතු ආකාරය පිලිබඳ ඔබ තුල ඇති දැක්ම මත Ego ideal තත්ත්වය ලඟා කර ගැනීමට උත්සහ දැරීමයි.
මේ අවස්ථාවන් දෙකෙන් මොන සිතුවිල්ල හට ගත්තත් ඒක ක්‍රියාත්මක කිරීමේ කාර්‍යභාරය පැවරෙන්නේ Ego වෙතයි. බැලු බැල්මට මෙහිදී දෙවනි අවස්ථාව ideal ලෙස පාඨක ඔබට දැනුනත්, මනසේ id සහ superego යන කොටස් දෙකම සමබර ලෙස පවත්වාගෙන යා යුතුයි. මේ කොටස් දෙකේ අසමතුලිත බව විවිධාකාර ප්‍රශ්න රාශියක මූලාරම්භයක් විය හැකියි. මානසික අක්‍රමිකතා වලට මූලාරම්භය id, ego සහ superego අතර අසමතුලිතයයි.
------------------------------------------------
ෆ්‍රොයිඩ්ගේ මනෝවිශ්ලේශණවාදි න්‍යාය සමග සමාන්තරව යන තවත් න්‍යායක් තමා ඒබ්‍රහම් මාස්ලෝගේ " අවශ්‍යතා ධූරාවලිය " .
මාස්ලෝගේ අවශ්‍යතා ධූරාවලියට අනුව මිනිස් අවශ්‍යතා පිලිවෙලින්,
- ආහාර
- වාසස්ථාන/ ආරක්ෂාව
- සමාජීය අවශ්‍යතා ( ආදරය,පිලිගැනීම)
- මමත්වය
- ආත්මපරිපූර්ණත්වය
( බුදුන් වහන්සේත් ධර්මය දේශනා කරන්න කලින් කන්න දීලා සිටි බවට අසා තිබෙනවා )
-----------------------------------------------
දැන් මේ හෑල්ල සම්පූර්ණයෙන් මේ වෙනකන් කියෙව්වා නම් මේක ශ්‍රීලංකාවේ වර්තමාන තත්ත්වයට බලපාලා තියෙන ආකාරය ගැන ඔබට යම් අවබෝධයක් ඇති.
හිතන්න, එදා වේල හොයාගන්න වෙර දරන මිනිස්සු, ගෙදර යන්න බස් එකක් අල්ලගන්න පොරකන මිනිස්සු, කෝච්චියේ දොරේ එල්ලිල යන මිනිස්සු, පෙට්‍රල් ලීටර් 2-3ක් වෙනුවෙන් ගුටි කෙල ගන්න මිනිස්සු... මේ හැම දෙයක්ම අද බහුතර ශ්‍රීලාංකිකයාව ඇදලා දාලා තියෙන්නේ මේ හැම මිනිහෙක්ගෙම survival mode එකට ( යම්තම් පන ගැටගහගන්න ).. ඒවගේ අවස්ථාවක ඉන්න මිනිහෙක් කවදාවත් ego ideal ලගා කරගන්න උත්සහ කරන්නේ නෑ. සමාජයේ ගුණගරුක බව, සධාචාරය, ශිෂ්ඨත්වය තවත් අපෙන් ඈතට යාමක් මිසක් ඒවට ලඟා වීමේ ගමනක නෙමේ අපි ජාතිකයක් වශයෙන් ඉන්නේ. ඒක මේ ලිපිය කියවන ඔබටත් ලියන මටත් පොදු ධර්මතාවක්.
ගොඩනැගිල්ලක් කඩලා බිමට සමතලා කරන්න පැය කිහිපයක් ප්‍රමාණවත් උනාට ඒක නැවත ගොඩනගන්න විශාල කාලයක් යනවා.
හිතන්න ඒනිසා. යූටෝපියාව ගොඩක් දුරයි!
----------------------------------------------
©️Pramod_Dilshan @abnormalthinker2021.blogspot.com
(5/7/22)
Comments
Post a Comment