" The Stress - ආතතිය" - තෙවන කොටස [ The Chaos ]
අන්තෝ ජටා බහි ජටා [ ඇතුලෙත් ගැට පිටත් ගැට ]
අරගලයේ බැටලුවෙක් නොවී ගොපල්ලෙක් වීමට අර්බුදය තේරුම් ගමු.
Expected reading time - 4.5mins
ශ්‍රීලංකාවේ වර්ථමානයේ ඇති වී තිබෙන අර්බුදය හුදෙක්ම ආර්ථික අර්බුදයක් පමණක්ම නොව. එය රටක මූලික සාරය වන,
1.දේශපාලනික ( P )
2.ආර්ථික ( E )
3.සමාජය/ සංස්කෘතිය / ආගම් / ශිෂ්ඨත්වය/ සභ්‍යත්වය ... ( S )
4.නෛතික ( L )
5.භූදේශපාලනය ( G )
යන සෑම අංශයක් පාසාම විහිදි ගිය අර්බුදයක් බවට මේ වන විට පත් වී හමාරය.
රටේ ජනතාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස ලබා ගත් දිනයේ සිට දේශපාලකයන් යැයි කියා ගනිමින් ජනතාවගේ සිතුම් පැතුම්, බලාපොරොත්තු සහ සිහින බිඳ දමමින් කුට්ටමමාරු සෙල්ලම් දැමූ නූගතුන්,මැරයන් සහ දේශද්‍රෝහීන් නිසා දේශපාලන ව්‍යුහය ප්‍රතික්ෂේප කරන, එන එන පාලකයාව පන්නා දැමීමට තරම් ජනතාව මානසික වශයෙන් ආතතියට පත් වී ඇත.
දේශපාලන අර්බූදය වසර ගණනාවක් පැවතියත් රටේ ජනතාව පාරට ඇද දැමීමට තරම් ආර්ථිකය අර්බුදය උග්‍ර නොවීම නිසාත් එය දැකීමට තරම් සවිඥානික පුරවැසියන් බිහිකිරීමට සමත් සමාජීය වටපිටාවක් හෝ අධ්‍යාපන ක්‍රමයක් ගොඩ නැගීම පාලකයාගේ න්‍යාය පත්‍රවල නොවීම නිසාත්, දශක 7ක් පුරාවට උඩු දිවූ ඒ ආර්ථික අස්ථාවරත්වය පිපිරී ගොස් ඇති ආකාරය ඔබටත් මටත් අද අත්දැකීමට සිදු වී ඇත. කිලෝමීටර් ගණන් දිග තෙල් පෝලීම්/ ගෑස් පෝලිම්/ කිරිපිටි පෝලිම්, දිනකට පැය 7-8 විදුලි කප්පාදු, 2G වත් නැති අන්තර්ජාල සම්බන්ධතා මේ ආර්ථික අර්බුදයේ ඔබට මට පෙනෙන්නට තිබෙන මතුපිට ගැටලු කිහිපයක් පමණි.
ආර්ථික අර්බූදයේ නැට්ට මෙන් එන සමාජ අර්බුදයද ඔබට මට අද එලියට බැස්සොත් අත්දකින්නට හැකිය. රු.1500 තෙල් ටිකට මිනී මරා ගන්නා, ගැබිණි මාතාවකට ප්‍රමුඛතාව දීමට විරුද්ධව මිනිස්සුන් ප්‍රචන්ඩ වන කතා, තමන්ගේ පන්තියේ එකා හඳුනා ගැනීමට නොහැකිව බෙදී ඇනකොටා ගන්නා , ආගම ධර්මය විකෘති වන, ශිෂ්ඨත්වයෙන් එහාට ගිය නව ලිබරල්වාදී ගෝලියකරණය තුල අතරමන් වී ඇති පුරවැසියන්ද මේ සමාජ අර්බූදයේ මතුපිට පමණි.
නෛතික රාමුවේ අර්බුදයද ඔබට මට ජීවිතේ කිනම් අවස්ථාවක හෝ අත්විඳින්නට සිදු වී ඇත. නැති වැරදි ලියලා දඩ ටාගට් ගහන, වරද පිලිගන්නා තෙක් පහර දී වැරදි ඇඟේ පටවන, සිරකරුවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරන, විරුද්ධවාදීන් මහ දවල් අතුරුදන් කරන, ඝාතකයින් නිදැල්ලේ සැරිසරන, මත්ද්‍රව්‍ය වලින් සමාජය වෙලා ගත්ත නෛතික රාමුවක, වීඩියෝ කරොත් කේජී පැකට් එකක් දාලා හයිකෝට් දාන කතාද අර්බුදයේ මතුපිට පමණි.
භූ දේශපාලනික වශයෙන් ඉන්දියාවට, චීනයට, රුසියාවට සහ ඇමරිකාවට අතරමැදිව ගෝලිය බල අර්බුදයේ ඉත්තෙක් බවට පත් වීමත්, ලෝක හිඟන්නෙක් බවට පත් වීමත්, කලාපයේ රටවල් අතර කමෙන්ට් සෙක්ශන් වල චාටර් වෙන්න සිදුවීමත් භූ දේශපාලනික අර්බුදයෙහි මතුපිට පමණි.
ඇයි මන් මේ හැම දෙයක්ම මතුපිට පමණි කියලා සඳහන් කරන්නේ? මන්ද අප මේ අත් දකින්නේ මෙම අර්බුදයන්හි පුපුරායාමේ මූලික අවස්ථාවය. මෙම අර්බූදයන් තවත් ඉදිරියට ගලායාමට ඉඩදීම රටක් ලෙසත්, ශිෂ්ඨාචාරයක් ලෙසත් ශ්‍රීලංකාව පරිහානිය කරා ගමන් කිරීමට ඉඩ සලසා දීමකි. යම් හෙයකින් තව දුරටත් උග්‍ර වුවහොත් අසන්නට ලැබෙන පුවත් කිසිවෙකුට මිහිරි වන්නේ නැත. තවද පරිහානියට පත් වූ ශිෂ්ඨාචාරය යලි එහි මූල් සශ්‍රීකත්වයට පත් වූ අවස්ථාද නැත. මෙහි මුල් ශශ්‍රීකත්වය යනුවෙන් අදහස් කරේ කෙල්ලෙක් කොටට ඇන්දම ෆෝම් වෙන පිරිමින්ගේ කතාව නොවේ. සමාජයක් වශයෙන් අප සතු, එකිනෙකාට උදව් කරගන්නා, ජාතිකත්වයෙන් යුක්ත, තමන්ගේ දේ රැක ගන්නා, එකිනෙකාට ගරු කරන, සංග්‍රහශීලී ගුණයයි.
ගොඩනැගිල්ලක් බිමට සමතලා කරන වේගයෙන් නැවත ගොඩ නැගිය නොහැකිය. නැවත් ගොඩ නැගුවත් එහි තිබූ පෞරාණික මෙන්ම වටිනා ගෘහ නිර්මාණ ශිල්පය අලුතින් ගොඩ නගන ගොඩනැගිල්ලේද නැත.
------------------------------------------
විසඳුම කුමක්ද? - මීලඟ ලිපියෙන්
ප්‍රමෝද් දිල්ශාන්
ලිවීම මගේ අයිතියයි. ශෙයාර් කිරීම ඔබේ අයිතියයි. අයිතීන් නිවැරැදිව හඳුනා ගමු!
Comments
Post a Comment