ආදරේට ආදරෙන් - තෙවන ලිපිය ( Chapter 03 - අඬන පිරිමි)

​අඬන පිරිමි,


පිරිමියෙක් ජීවිතේ කොන්දේසි විරහිතව ආදරේ කරන්නේ එක පාරයි. ඒක පලවෙනි ආදරේ වෙන්නම ඕනේ නෑ. දෙවනි තුන්වෙනි ආදරේ වෙන්නත් පුලුවන්. එතකොට ඔය ඕනේ තරම් ආදරේ කරලා කෙල උන් අය පස්සේ හම්බුන හොඳ කෙනෙක් එක්ක හොඳ ලස්සනට ඉන්නේ. ඔව් ඉන්නවා තමා. ඒ, ඒ අය ජීවිතේ කොන්දේසි විරහිතව කරන්න ගත්ත ආදරේ වෙන්න පුලුවන්. එහෙම නැත්නම් ඒ හොඳට හිටියට එතන තියෙන්නේ ද්වී සමපාතික එකඟතාවයක් වෙන්නත් පුලුවන්. එකඟතාවයක් ලස්සන වෙන්න බැරි කමක් නෑනේ. ඇයි එහෙම පිරිමියෙක් එකපාරක් විතරක් කොන්දේසි විරහිතව ආදරේ කරන්නේ? ඒකට තර්කානුකූල සීමාවක හෝ හරි දේ මේකනේ කියන රාමුව ඇතුලේ උත්තර හොයන එක සාධාරණීකරණය බැහැ. 


ඔව් ජීවවිද්‍යාත්මක පදනමක බැලුවොත් ඔය ඔක්කොම කරන්නේ පැටව් ගස්සන්න තියෙන උවමනාවටනේ. ඒ උනාට අර කොන්දේසි විරහිත කිව්ව වීශේෂණය එක්ක කරන ආදරය ඊට වෙනස්. ප්‍රසිද්ධ කියමනක් තියෙනවා " පිරිමියෙක්ව වෙනස් කරන්න බෑ. පිරිමියා ඔබට ආදරේ නම් ඔහු වෙනස් වේවි" කියලා. ඒකියන්නේ ජීවිතේ එකම එක අවස්ථාවක කරන තමන්ට දැනෙන තෝරාගැනීම වෙනුවෙන් ඔහු තමන් උපන් දා ඉඳන් හැදුන වැඩුන ආකල්ප, අදහස්, විස්වාස, මතවාද ඔක්කොම පැත්තකට දාලා අලුත්ම ආකල්ප, අදහස්... වලට අනුගත වෙන්න තරම් මේ කියන කොන්දේසි විරහිත ආදරය ශක්තිමත්.


සුවඳට ආදරය කරපු පිරිමි, හිනාවට ආදරය කරපු මිනිස්සු ඉන්නවා ඕනේ තරම් ෆිල්ම් වල නෙමේ. සැබෑ ලෝකයේ එදිනෙදා හම්බෙන ජීවිත. අපි ආදරය ගැන කතා කරද්දි ඕනේ තරම් කතා වෙනවා ගැහැනිය අසරණ වෙන තැන්. හැබැයි පිරිමි අසරණ වෙන තැන් ගැන සමාජයේ තියෙන ආකල්පය පසුගාමි. ආදරයේදි පිරිමි අසරණ වෙන්න ඕනේ නෑ. මුහුදේ ඉන්න එක මාලුවද කියලා ඇහුවම මාලු කොච්චර හිටියත් මට ඕනේ උන මාලුවා නෙමේ ඒ කියලා උත්තර දෙන පිරිමි හිටියේ ඒකයි.  බලමාලු කන්න හිතාගෙන මුහුදු ගිය මිනිහෙක්ට සාලයෝ පොකුරු පිටින් අහු උනත් වැඩක් නෑනේ. 


අපේ තියෙන මතයක් තමයි පිරිමියා කියන්නේ ශක්තිමත් කෙනෙක්, ඒයාට ඕනේ දෙයක් දරාගන්න පුලුවන් වෙන්න ඕනේ. පිරිමි එහෙමයි...කියන එක. ඔව් ඒක හරි වනචාරි සමාජයකදී ශාරිරික සහ මානසිකව දුර්වල පිරිමි කියන්නේ weak link එකක්. හැබැයි මිනිස් සමාජයේ සිවිලයිස්ඩ්ම කාලයක ඒ ශරීර ශක්තිය සහ මානසික දරා ගැනීම කියන එක අත්‍යාවශ්‍යම සාධකයක්ද? අර ශාරිරිකව ශක්තිමත් මානසිකව හිරිවැටුන පිරිමියා අද සමාජේ ඇතුලේ ඇත්තටම ශක්තිවන්තයෙක්ද? එහෙම නැත්නම් ඒ විදියට කායික ශක්තිය තමන්ගේ marketing strategy එක කරගත්ත පිරිමි කියන්නේ සමාජේ එක්ක සිවිලයිස්ඩ් නොවුන පරිනාමයේ මග හිර උන පිරිසක්ද? ශක්තිවන්තකම කියන benchmark එක කාලෙන් කාලෙට යාවත්කාලීන වෙන්න ඕනේ දෙයක්. එදා මනුස්සයට අවශ්‍ය උන skill එක අද මනුස්සයට අවශ්‍ය නැත්නම් ඒ skill එක නැති උනාට කමක් නෑ. හැබැයි අදට අවශ්‍ය කරන skill එක තියෙන්නම ඕනේ දෙයක්. 


සමාජයක්ම තමන්ගේ හැඟීම් තමන්ට යටපත් කරගන්න බලකරද්දි ඒ හැමෝටම විරුද්ධව තමන්ගේ හැඟීම පිට කරන්නත් මාර පිරිමියෙක් වෙන්න ඕනේ. හැමෝම කරන දේ කරනවට වඩා හැමෝම නොකරන දේ කරන්න මාර මොරාල් එකක් ඕනේ. පිරිමි එහෙම  හැඟීම් හිර කරන් ඉඳලා ප්‍රචන්ඩත්වයෙන් උත්තර  හොයන්න යනවට වඩා හැඟීම් පිට කරලා ඒක දරාගන්න පුලුවන් විදියට ශක්තිමත් උනා නම් බෙල්ල කපලා සූට් කේස් වල දාන ඒවා, බෙල්ල මිරිකලා ගඟට දාන ඒවා අඩු වෙයි කියලයි මට හිතෙන්නේ.


පිරිමින්ට කන් දෙන්න පුලුවන් නම් ඒ අවස්ථාව මග ඇර ගන්න එපා. උන්ගාව තියෙනවා පුස්තකාල 1000ක් කියවලා ඉගන ගන්නවට වඩා දෙයක්. 

.........................................................


Image Credits to the original creator/creators

Source : Internet

Blog concept : Pramod Dilshan @AbnornalThinker

Comments