ආදරේට ආදරෙන් - දෙවන ලිපිය ( chapter 2 )

ලෝකේ ජීවී වර්ග කෝටි ගානක් ඉද්දි මනුස්සයෙක් වෙලා ඉපදෙන්නේ ආදරය කරන්නමද කියලා හිතෙනවා. ආදරේ උපරිම මට්ටම වෙන්නේ කිසිම ප්‍රතිලාභයක් බලාපොරොත්තු නොවී කරන ආදරය නම් ඒ විදියට ආදරේ කරන්න හැකියාවක් තියෙන්නේ මනුස්සයින්ට විතරයි. ලෝකේ පැවැත්ම සහ සමතුලිතය රඳා පවතන්නේ ජීවින්ගේ පැවැත්ම මතනම් ජීවීන්ගේ පැවැත්මේ මූලික අරමුණ වෙන්න ඕනෙත් තම වර්ගයාගේ පැවැත්ම. එහෙම පැවැත්ම මූලික කරගත්ත ජීවියෙක් ස්වභාවයෙන්ම ක්‍රියාත්මක වෙන්නෙ තමන්ගේ පැවැත්ම වෙනුවෙන් නම් ඒ ජීවියගේ ජානවල තියෙන ප්‍රමුඛතාව ආහාර සහ ප්‍රජනනය වටා කේන්ද්‍රගත වෙනවා. 

අන්න ඒ ජානමය සාධකයට අභියෝග කරලා ස්වාධීන තීරණයක් ගන්න නම් ඒ ජීවියට නිදහස් චින්තනයක් තියෙන්න ඕනේ. සරලා උදාහරණයක් විදියට කොටියෙක්ව ගමු.කොටියට මුවෙක් දැක්කොත් ඒ මුවාව මරන්න යොමු වෙන එකට ඒ කොටියට තෝරාගැනීමක් නෑ.මොකද කොටියගේ පැවැත්ම වෙනුවෙන් ඌ ආහාර කියන අවශ්‍යතාව සම්පූර්ණ කරගන්න ඕනේ. ඒනිසා ආහාරයක් දැක්කම ඒක නොකා ඉන්න ඌට මානසික හැකියාවක් නෑ. බඩගින්න තියෙනවා නම් ඌ මුවාව මරලා කන්නම වෙනවා. ඒ වගේමයි ප්‍රජනනය. ඒ අදාල කාලවලදී උන් ඒ කාර්‍යයට යොමු වෙන්නේ නිරායාසයෙන්මයි. ගෙදර හුරතලේට බල්ලෝ පූසෝ හදන කෙනෙක් මේක හොඳටම දන්නවා. පූසෝ රැලේ යන කාලෙට මොන විදියකින්වත් ඒ සතාව ගේ ඇතුලේ තියා ගන්න බෑ.මොකද ඒ සතාට හැකියාවක් නෑ තමන්ගේ මොලයෙන් දෙන විධානයට පිටින් යන්න. මොකද ඒ තරමට මානසික ශක්තියක් නෑ ඒ සතාට.

ඒ වගේ ස්වාධීන තීරණයක් ගන්න හැකියාවක් තියෙන්නේ මනුස්සයෙක්ටම විතරයි. මොකද මනුස්සයා එහෙම නැත්නම් හෝමෝ සේපියන් කෙනෙක්ට ඒ ස්වාධීන තීරණ ගැනීමේ හැකියාවට අවශ්‍ය මානසික ශක්තිය තියෙනවා. මනුස්සයෙක් වර්ගයා බෝ කරන්න කියලා දකින දකින මනුස්සයා එක්ක ලිංගිකව එකතු වෙන්න යන්නෙ නෑ. ඒ තෝරාගැනීම කරන්න පුලුවන්. මනුස්සයෙක්ට තමන්ගේ ජීවිතේ බොහෝ තීරණ ස්වාධීනව ගැනීමේ හැකියාවක් තියෙනවා.

පරීක්ෂණ වලින් ඔප්පු වෙලා තියෙන විදියට මනුස්සයෙක් තමන්ගේ අවශ්‍යතා සපුරාගත්තට පස්සේ එතනින් එහාට ඒ මනුස්සයා යොමු වෙන්නේ තමන් ඉන්න මට්ටම අනිත් මනුස්සයෙක් එක්ක බෙදා ගන්න. ඒ කියන්නේ මනුස්සයෙක් තෘප්තිමත්නම් එතනින් ඒහාට ලබන අත්දැකීම අනිත් මනුස්සයෝ එක්ක බෙදා ගන්න යොමු වෙනවා. මනුස්සයා සමාජීය සත්තවයෙක් ( social animal) කියන්නේ මේ නිසයි. මනුස්සයෙක් සතුටින් ඉන්නවා නම් ඒ සතුට තමා වටේ අය එක්කත් බෙදා ගන්නවා දුක,තරහව, බය ආදී ඕනෙම හැඟිමක් එහෙමයි. මේ කරුණම ඔප්පු කරන්න පුලුවන් තවත් උදාහරණයක් තමයි ඒබ්‍රහම්ගේ අවශ්‍යතා ධූරාවලිය. ඒ කියන්නේ ආහාර, ආරක්ෂාව සහ සමාජීය අවශ්‍යතා ( ආදරය,සතුට...) ඉටු කරගත්තට පස්සේ දූරාවලියේ ඊළඟට තියෙන්නේ මමත්වය සහ ආත්මපරිපූර්ණත්වය. අන්න ඒ ආත්ම පරිපූර්ණත්වයට පත් වෙන්න නම් තමා යහපත් පුද්ගලයෙක් කියන ප්‍රතිරූපය ඇති වෙන්න ඕනේ.ඒනිසයි අපිට දකින්න ලැබෙන්නේ ආර්ථික වශයෙන් ස්ථාවර මිනිස්සු සමාජීය කටයුතු වලට බහුල වශයෙන් යොමු වීම.

ඉතින් මනුශ්‍යෙක් වීමේ අවසාන ඵලය වෙන්නේ තමා පිලිබඳ තමාට ඇති වෙන යහපත් ප්‍රතිරූපය නම් ඒකට තියෙන හොඳම පිලිතුර ආදරය කිරීම කියන එකයි මගේ නිගමනය. මෙතන ආදරය කියලා අදහස් කරන්නේ වර්ගයාගේ බෝ කිරිම වෙනුවෙන් ඇති කරගන්න ද්වීපාර්ශික ආකර්ෂණීය නෙමේ. මෙතන ආදරය කියලා අදහස් කරන්නේ තමා වෙනුවෙන් ප්‍රතිලාභයක් බලාපොරොත්තු නොවී අනෙකා වෙනුවෙන් කරන කැපකිරීම. හැබැයි උඩදි කිව්වා වගේ කෙනෙක් වෙන කෙනෙක්ට ආදරය කරන්න කලින් තමන් තමන්ට ආදරය කරලා ඉන්න ඕනේ. මොකද තමා තුල නැති දෙයක් තව කෙනෙක් එක්ක බෙදාගන්න බෑ. ඒනිසා ප්‍රථමයෙන් තමා තුල ආදරයෙන් පිරෙන්න ඕනේ. ලෝකෝත්තර ආදරයක් කියන්නේ එහෙම සංකපයක්. 

ප්‍රමෝද් දිල්ශාන් 02/10/2021 

Comments

Post a Comment