Upon a time - දවසක හවසක [ Story of an average man ]

දවසක හවසක...

" අපි හැම මාසෙම වගේ සෙට් වෙමු බන් එකටම ඉමු "


ඉස්කෝලේ අන්තිම දවස

---------------------------------------------------------------

"අපි අනිවාර්යයෙන් මාසෙට පාරක්වත් සෙට් වෙමු අහ්හ්..ලඟනේ ඉන්නේ ඔක්කොම"

" ජොබ් ජොබ් කියලා හැමදාම මැරෙන්න බෑනේ බන්.සෙට් වෙලා පොඩි ඩ්‍රින්ක් එකක් එහෙම දාලා "

"ඔව් දැන් සල්ලිත් තියෙනවනේ එතකොට කොහොමත්"

ඒ හොස්ටල් එකේ අන්තිම දවස

-----------------------------------------------------------------

"අඩෝ මේ..මේ සෙනසුරාදා සෙට් වෙමුද? "

" අඩෝ මේ සතියේ බැරි වෙයි බන්.වැඩ ගොඩ ගැහිලා..ඊලඟ සතියේ මොකද? "

"ඊලඟ සතියේ අපේ ස්ටොක් කවුන්ට් බන් "

"ඉදකින්! ඊලග මාසෙවත් බලමු "

-----------------------------------------------------------------

"ජීවිතේ සුන්දරම කාලේ යාලුවොත් එක්ක හිස් පීරියස් එකක මේස වලට ගගහ සිංදු කියලා ප්‍රින්සිපල් සර්ගෙන් ගුටි කාපු කාලේ "

මුහුණු පොතේ සටහනක්

-----------------------------------------------------------------

" අඩෝ අපේ ස්කෝලේ ජාතික පාසලක් කරලා බන් .පට්ට නේහ් ♥️ "

" ඕබී එකටවත් බැඳෙන්න ඕනේ බන්.ළමයෙක්වත් දාගන්න එපැයි ..."

"අනේ මගුල..දැන් අවුරුදු දෙකක් තිස්සේ දානේ දීගන්න බැරි උනා ..ඒකාලේ කිව්වේ කොහොමද ! "අඩෝ අපි හැම අවුරුද්දෙම අනිවාර්යයෙන් දෙමු ඈ " "

ස්කෝලේ ගෲප් චැට් එක 

_______________________________________


" ජීවිතේ සුන්දරම කාලේ ගෙවුනේ හොස්ටල් එකේ යාලුවෝ සෙට් වෙලා එක බත් මුලට පොර කකා, යාලුවගේ ඇඳුම් ඇඳගෙන, පර්ක්කු වෙලා නැගිටලා ලෙක්චර්ස් වලට දුවපු කාලේ "

වට්සැප් ස්ටේටස් එකක්

------------------------------------------------------------------

"සුළගේ ලෙලෙනා මල් සේ දඟ පා අප පාසල් ගිය කාලයේ..යාලුවෝ අද නැත වෙන අය එහි ඇත කාලය මැවු වෙනසක් අරුමේ..."

බස් එකේ ඇහුන ගීතයට මන් ජනේලෙට ඔලුව හේත්තු කරගත්තේ මටත් නොදැනීම..එයත් එක්ක බස් එකේ ගිය හැටි මතක් වෙලා හෑන්ඩ්ෆ්‍රී එක ගහගත්තේ කැමතිම සිංදුවක් දාගෙන මර්වින් පෙරේරා මහත්මයගේ..

" වැව් ඉවුරේ දිය රල පෙර සේම බිඳෙනවා..
නුග ගස් පෙල අප නැතුවත් තව දලු ලනවා..
සරසවිබිම කඳුරැල්ලෙන් එතෙර පෙනෙනවා..
ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා.."

ගීතයේ පදපෙල සිතින් මුමුණමින් මන් නොදැනීම මගේම ලෝකෙක තනි වෙද්දි කොන්දොස්තර අයියා කෑගනවා "පල්ලිය හංදිය බහින අය නැගිටලා ඉස්සරහට එන්නෝඕඕඕ " කියලා. 

හන්දියෙන් බයික් එක අරන් ගෙදර ඇවිත් වොශ් එකක් දාලා මන් ලැප් එක ඕපන් කරගත්තා..හෙට හවස මැනේජර්ට දෙන්න ඕනේ සෙක්ශන් ටික කුවරී සෙට්ල් කරලා..

------------------------------------------------------------------

අපි ජීවිතේ කවමදාක්වත් සෑහිමකට පත් වෙන්නෑ..හීන පස්සේ දුවනවා ඉවරයක් නෑ.මිරිඟුව වගේ.හැල්මේ දුවනවා.ආපස්සට හැරිලා බලද්දි තමා දැනෙන්නේ හැල්මේ දුවන්නේ නැතුව,මේ මොහොතේ ජීවත් වෙන එක කොච්චර වටිනවද කියලා.මොකද දවසක ඉතුරු වෙන්නේ ඒ මතකයන් විතරයි.ඒ නිසා මේ මොහොතේ ජීවත් වෙමු.

"අතීතයේ වත්, අනාගතයේවත් නැතුව මේ මොහොතේ ! "

"ටිංංංං.. " පෝන් එකට නොටිෆිකේශන් එකක්

" උබේ සෙට් එකේ බීව්වම යාලුවෝ බදාන් උන්ට ආදරෙයි කියන එකාව මෙන්ශන් කරපන්" කියලා තිබ්බ පෝස්ට් එකට වගුරා ( ඉස්කෝලේ සෙට් එකේ එකෙක්) කරලා මාව. 

අපේ හරක් ටිකත් චොර පොටෝ කමෙන්ට් කරලා මාව හාලා.. "නොදකින් පාප මිතුරෝ "කියලා හිතෙන් දෙහි කප කප මාත් ඉතින් අර ඔක්කොටම මැසේජ් දදා වැන්දා "අයින් කරපන් යකුනේ " කියලා..

නිමි! 

ප්‍රමෝද් දිල්ශාන් 18/06/2021 22:50

Comments